ගොරතර
නුහුසුවන් පිරි රුදුරු වැඩ බිම
කතරක සෙයින්
දිසි කල වියලි නිරුදක
සිසිලස් දිය
ඉසින කරකස හදකට
මේ කුළු
වලාවකි නුඹ පාව ආ සොඳ
හඳුනාගත්
බැවින් හද නගන වෙණ නද
නුඹ හද කවුළු
විවරව තිබුණයි මට
ලොබ බැඳියෙන්
බෝ දන මියුරු එ නදට
නුඹ හද කවුළු
නෙක දන හදින් තෙරපිණ
x x x
වැයෙන සඳ
දහසක් නොමහුරු මුහුණු මැද
මා හදටම
වැයුණු ඒ මියුරු වෙණ නද
හඬ ඇසෙන දුරක
සැදුණු තනි කුටියක
තනිවම විසිය
යුතු බව පසක් විය මට
දවටා රතොට රත
බැඳි සෙනෙහෙ පාමින
ගිලිහෙනු නොදී
රැකි මුත් පණ සෙ එදවස
නුබ ගැබ වෙත
ඇදෙන අවසන් පණ නල
වලකනු කෙනෙක්
වෙද අද මෙදිය කුස තුළ
© තිළිණ රුවන් මලලසේකර