Friday, December 23, 2011

වැඩබිමේදීය...



ගොරතර නුහුසුවන් පිරි රුදුරු වැඩ බිම
කතරක සෙයින් දිසි කල වියලි නිරුදක
සිසිලස් දිය ඉසින කරකස හදකට
මේ කුළු වලාවකි නුඹ පාව ආ සොඳ

හඳුනාගත් බැවින් හද නගන වෙණ නද
නුඹ හද කවුළු විවරව තිබුණයි මට
ලොබ බැඳියෙන් බෝ දන මියුරු එ නදට
නුඹ හද කවුළු නෙක දන හදින් තෙරපිණ

                    x x x

වැයෙන සඳ දහසක් නොමහුරු මුහුණු මැද
මා හදටම වැයුණු ඒ මියුරු වෙණ නද
හඬ ඇසෙන දුරක සැදුණු තනි කුටියක‍
තනිවම විසිය යුතු බව පසක් විය මට

දවටා රතොට රත බැඳි සෙනෙහෙ පාමින
ගිලිහෙනු නොදී රැකි මුත් පණ සෙ එදවස
නුබ ගැබ වෙත ඇදෙන අවසන් පණ නල
වලකනු කෙනෙක් වෙද අද මෙදිය කුස තුළ

© තිළිණ රුවන් මලලසේකර

Wednesday, June 29, 2011

සමු(නො)ගැනීම

මට ඇසී නෑසී ඇසෙනා හ‍ඬින්

කිම් දැයි ඔබේ රුධිර චංචල ගමන්

දුක සැප එදා සමව ඉවසූ සිතින්

රඳන්නට කුමකට අවසර පතම්


හිඳිනා පොළෝ කුසෙහි ක්ෂය වී නොයම්

වෙළෙනා ගිනි දැලෙහි අ‍ළු වී නොයම්

දිගු කල් ගිලන්පත් යහනේ සිටන්

මම ඔබේ හදවත උරගා බැලීම්


යසසින් මුදලකින් හෝ වෙඩි සරින්

හද ඔබේ සිදුරු වී නැති වග දුටිම්

වී නම් පමා දොසක් උදහස් නොවෙම්

දරුවන් වුවත් ඔබද මිනිසුන් බැවින්


උර මත තබා වැඩු දරුවන් උරෙන්

මහ ගෙයි දොරකඩින් ගුවනට නැගෙම්

කඳුළින් දොවා ගත් කුසුමක් ලෙසින්

නෑසිය අතින් අත පාවී පිදෙම්


හිස නමා ගත් මහලු ගහ කොළ යටින්

පා තබනු මැන ළා දලු නොතලමින්

වැගිර යද්දී කඳුළු පැන් කෙණ්ඩියෙන්

සෝක ළතැවුල් සියල් පා කර හරින්


අප උපන් කලියුගය ජය ගන්නෙමුයි

යෝධ බල වෙර විරිය වඩනය ඉතින්

සුළඟ සේ නොපෙනී ශක්තිය ගෙනෙම්

ගුණ සුවඳ වි ඔබම සරසා හිඳිම්


ඔබ තුළ මා වෙතැයි හැ‍‍ඟෙනා බැවින්

සමුගන්නෙමිය හැර නොයනා ලෙසින්

තාත්තා ගිලානව ඔත්පල විය. අපි ඔහුව කො‍ළඹ ආරෝග්‍යශාලාවකට ඇතුළු කළෙමු. තාත්තා දින හතක් පමණ ගිලන්ව එහි වැතිර සිටියේය. මම එකල දිනපතා තාත්තා බැලීම පිණිස මාතර සිට කොළඹ බලා යන්නෙමි. දිනක් මා එසේ යන විට තාත්තා අපහසු ඉරියව්වකින් ඇ‍ඳෙහි වැතිර සිටිනු දැක ගත හැකි විය. ඔහු එදින අප හා කතා බහ කළේද නැත. තාත්තා අප අතහැර යන්නට සැරසෙනවා වත්දෝයි යන සැකමුසු හැඟීම මගේ යටි සිතේ ඉපිද මා පෙළන්නට විය. එහෙත් ඔහු තවත් බොහෝ කල් ජීවත් වේවායි අපි ප්‍රාර්ථනා කළෙමු.

එදින ආපසු මාතර බලා එද්දී පෙර කී යටි සිතේ උපන් හැඟීම අතොරක් නැතිවම මට වද දෙන්නට විය. තාත්තා පිළිබඳව සංවේදී වූ මගේ කවි සිත තුළ මටත් නොදැනිම ඔහු පිළිබඳ කවියක කටු සටහනක් ඇ‍‍ඳෙන්නට පටන් ගෙන තිබුණි.

දින කිහිපයකට පසු තාත්තා මළේය. එහෙත් ඔහු මිය ගිය බව සිතන්නට අපට නුපුළුවන් විය. තාත්තා බලන්නට ගොස් ආපසු එද්දී මසිතේ ඇඳුණු කවියක කටු සටහන තාත්තාගේ මරණයේ කම්පනයෙන් ඔප වැටී ‘සමු(නො)ගැනීම’ ලෙසින් වඩාත් පරිපූර්ණ නිර්මාණයක් විලස මෙලෙස එළි දුටුවේය.

තාත්තා පිළිබඳව මසිතේ උපන් සංවේදී හැඟුමන්, දරු සෙනෙහස පෙරදැරිව මගේ මුවින් ගිළිහෙන්නාක් මෙන් කවියට නැගීමට මට ඕනෑ විය. එහෙත් මහා පෞරුෂයකින් හෙබි අපේ තාත්තාගේ මරණය පාදක කර ගනිමින් හුදු ගුණ කථනයක යෙදෙන්නට මට පුළුවන්කමක් නොතිබුණි. ඔහු සතුව බොහෝ උත්තම ගුණ තිබුණි. අපේ තාත්තා නැති වී යන වැඩවසම් සමාජ ක්‍රමයේ සාධනීය පක්ෂය නියෝජනය කළ සංකේතයක් වැන්න. අසරණයන්ට පිහිටවීම, නොසැලෙන ගුණය, ස්වාධීන චින්තනය, දාරක ප්‍රේමය, පමණට පරිභෝජනය ආදී වැඩවසම් ක්‍රමයේ ධන ලක්ෂණයන්ගෙන් අපේ තාත්තා පොහොසත්ව සිටියේය. එනිසා තාත්තා පිළිබද හුදු ගුණ කථනයක් වෙනුවට මරණ මොහොතේදී හෝ තාත්තාගෙන් උපදෙසක් ගන්නට මම ආශා කළෙමි. එනිසා මම තාත්තා පිළිබඳව ලියූ මේ කවියේ කථකයා වූයේද අපේ තාත්තාමය.

කවිය තුළදී මරණාසන්න අපේ තාත්තා හෙවත් කථකයා ගිලන් ඇ‍ඳේ සිට ස්වකීය දරුවන් ලෙස බලයි. ඔහුගේ වේදනාකාරී ස්වභාවය දෙස බලා අප තැවෙද්දී තම සියලු දුක් දෝමනස්සයන් මදකට සඟවා ඔහු අප ඉදිරියේ මහා පෞරුෂයක් ගොඩනගයි.

‘හිඳිනා පොළෝ කුසෙහි ක්ෂය වී නොයම්

වෙළෙනා ගිනි දැලෙහි අළු වී නොයම්’

තමා මිය ගියත් නොමැරෙන බව තාත්තා කීවේ එලෙසිනි.

තාත්තාගේ පරපුරවෙත තිබූ බොහෝ සද් ලක්ෂණයන් පරම්පරා වෙනසත් සමගම අප වෙතින් බැහැරව ගොස් තිබුණි. අවට ලෝකයට නෙත් ඇරගෙන සිටි මිනිසෙකු වූ අපේ තාත්තාටද ඒ බව වැටහී තිබුණි. එහෙත් දරු සෙනෙහස නිසා තාත්තා කෝප ගෙන නොතිබුණි. අපද දරුවන් වුවත් පෘතග්ජන මිනිසුන් බව තාත්තා අවබෝධ කරගෙන සිටියේය.

‘වී නම් පමා දොසක් උදහස් නොවෙම්

දරුවන් වුවත් ඔබද මිනිසුන් බැවින්’

වැඩවසම් ක්‍රමයෙන් උරුම වූ දරාගැනීමේ ශක්තියක් තාත්තා තුළ නිදන්ගතව පැවතුණි. අපේ තාත්තා භාවතිශය නොවූයේ ඒ නිසාවෙනි. තාත්තාගේ මරණය අබියස අප හඬනු දැකීමට ඔහු කැමති වූයේ නැත.

‘වැගිර යද්දී කඳුළු පැන් කෙණ්ඩියෙන්

සෝක ළතැවුල් සියල් පා කර හරින්’

යනුවෙන් දුක වේදනාව පා කර හරින්නැයි තාත්තා අපට කීවේ එබැවිනි.

අපේ යුගය වෙනස් යුගයක් බව තාත්තා දැන සිටියේය. එහෙත් අප විසින් කෙසේ හෝ එය ජය ගත යුතු බව ඔහු තරයේ ඇදහුවේය. ඒ සඳහා අපට යෝධ බල, වෙර වීරිය ප්‍රාර්ථනා කළ ඔහු, ඒ උදෙසා සුළඟක් සේ නොපෙනී අප අසල හිඳිමින් අපට ශක්තිය ගෙනෙන බවද දිව්රා කීවේය.

(90 දශකය අගභාගයේදී පුවත්පතක් උදෙසා මොනිකා රුවන්පතිරණ කිවිඳිය සමග කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙන් ලියවුණකි.)

© තිළිණ රුවන් මලලසේකර